Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණ කමිටුවට එරෙහිව හිටපු සභාපතිගෙන් පැමිණිල්ලක්

පාපන්දු නිලවරණ කමිටුවට එරෙහිව හිටපු සභාපතිගෙන් පැමිණිල්ලක්

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022-23) සඳහා ඉදිරිපත්වූ නාමයෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිලවරණ කමිටුව නව ක්‍රීඩා රෙගුලාසි කීපයක්ම නොසළකා හැර ඇතැයි පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ඒ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ සභාපති අපේක්‍ෂක ජස්වර් උමාර් මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට නිලවරණ කමිටුව ගත් තීරණය මතභේදාත්මකවන බවයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් නොබෝදා පනවන ලද රෙගුලාසි ප්‍රකාරව ‘‘ක්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකි නුසුදුසුකම්’’ යටතේ වන 4 වැනි වගන්තිය යටතේ ජස්වර් උමාර් මහතා චෝදනාවලියක වරදකරුවකු ලෙස නිර්දේශ ලබා සිටින්නෙකු වන බැවින් ඔහුගේ නාමයෝජනාව පිළිගැනීම දෝෂ සහිත වන බව හිටපු පාපන්දු සභාපතිවරයා සිය අභියාචනයෙන් අවධාරණය කර ඇත.

කෙසේ වුවත් නිලවරණ කමිටුව පාපන්දු නිලවරණයේ නාමයෝජනා විමර්ශනය කිරීමේදී නව රෙගුලාසිවලට අනුගත වෙමින් වයස 70 ට වැඩි අපේක්‍ෂකයන් දෙදෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. එසේ කටයුතු කර ඇති නිලවරණ කමිටුව නව ක්‍රීඩා රෙගුලාසි මාලාවේම වන ඇතැම් වගන්ති උල්ලංඝනය කිරීමට එමගින් කටයුතු කර ඇතැයිද අභියාචනයේ දැක්වේ.

මේ අතර පාපන්දු නිලවරණයේ (2022-23) උණුසුම තියුණු වෙමින් තිබියදී ඒ සඳහා තරග වදින ප්‍රධාන දෙපාර්ශවය එකිනෙකාට එරෙහිව චෝදනා ගොනු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩලයට අභියාචනා ඉදිරිපත් කරමින් සිටින බවද වාර්තා වේ.

සභාපති අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිවද මේ වනවිට ජස්වර් උමාර් මහතාගේ පාර්ශවයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ රංගා මහතා උසාවියේ විභාගවන බව කියන නඩුවක වග උත්තරකරුවකු බව දක්වමිනි. නව ක්‍රීඩා රෙගුලාසි මාලාවට අනුව එය ජාතික ක්‍රීඩා සංගමයක නාමයෝජනා ඉදිරිපත් කිරීමේ පුරවැසියෙකුට ඇති හිමිකමට බාධා කෙරෙන්නක් බව මෙම අභියාචනයෙන් ජස්වර් උමාර් පාර්ශවය කියා සිටියි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනාවල නිගමන නව තව දින කීපයකන් නිකුත්වීමට නියමිතය.

මේවන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනයක් සඳහා අයකරන ගාස්තුව රුපියල් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ. මින් පෙර එය රුපියල් 6000 ක් විය. මෙම කමිටුව විසින් විභාග කෙරෙන අභියාචනා නිවැරදි බවට පිළිගත හොත් අභියාචකට නැවත මෙම ගෙවීම් ලබාදීමද සිදු කෙරේ.

ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී එහි විධායක සභාවේ ධුර 11 ක් සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා 43 කින් 24ක්ම ප්‍රතික්ෂේප වීම කැපී පෙනුණි. එහිදී උපභාණ්ඩාගාරික හා උපලේකම්  ධුර සඳහා ඉදිරිපත්වූ සියලු නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

උපසභාපති ධුර 5 කට ඉදිරිපත්වූ නාමයෝජනා 12 කින් නවයක්ම ප්‍රතික්ෂේපවීමත් තවත් කැපී පෙනෙන කාරණාවකි.
සභාපති ධුරයට ඉදිරිපත්වූ නාමයෝජනා අතරින් හිටපු ජාතික පාපන්දු පුහුණුකරු සම්පත් පෙරේරා හා පාපන්දු ආයතනයේ හිටපු ලේකම් උපාලි හේවගේ යන මහත්වරුන්ගේ නාමයෝජනාද ප්‍රතික්ෂේප විය. හේවගේ මහතා ප්‍රධාන ලේකම් ධුරයටද නාමයෝජනා බාරදී තිබුණි.

නව ක්‍රීඩා රෙගුලාසි මාලාවේ වයස 70 ට වැඩි පුද්ගලයන්ට ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීම තහනම් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා පනවා තිබෙන නියෝගය මෙහිදී පළමුවරට ක්‍රියාත්මක විය. එහිදී උපාලි හේවගේ මහතා හැරෙන්නට හිටපු උපසභාපති කේ.පී.පී. පතිරණ මහතා නැවත උපසභාපති ධුරයකට තරග වදිමින් ඉදිරිපත්කර තිබූ නාමයෝජනාවද වයස 70 සීමාවේ නීතිය නිසා ප්‍රතික්ෂේප කෙරුණි.


අදහස් (0)

පාපන්දු නිලවරණ කමිටුවට එරෙහිව හිටපු සභාපතිගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.